BREAKING NEWS
RSS Feed Widget

Sunday, November 8, 2015

ඇමති මාරපන ඉල්ලා අස්වෙයි

නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන  එම ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි  ආරංචි මාර්ග පවසයි. අද (09) පෙරවරු 10ට අමාත්‍යවරයාගේ  නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා ඇත.

ඇවන්ට්ගාඩ් සමාගමේ නීති කටයුතු සඳහා  තිලක් මාරපන සම්බන්ධ වී ඇති බව සහ ඇවන්ට්ගාඩ් සිද්ධිය පිළිබඳ ඔහුගේ වත්මන් ඇමති තනතුර බාධාවක් වී ඇතැ බව ද සඳහන්.

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් තිලක් මාරපන -  පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබුනේ 'පොලිසියේ ලකුණු දා ගැනීමක්' බවයි.

ආන්දෝලනයකට තුඩු දී ඇති ඇවන්ට්ගාඩ්  සිද්ධිය සහ වංචා දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා  කිරීමේ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (09) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. මෙය නව රජය බලයට පත්වීමෙන් පසු පවත්වන පළමු හදිසි කැබිනට් රැස්වීම ද වනවා. එහිදී නිශ්චිත තීන්දුවකට එළඹීමට නියමිත බවයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ.

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටත දීත් අදහස් දැක්වූවා. මීට අමතරව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ද ඒ පිළිබදව අදහස් දැක්වීමත් සමඟ එය සමාජයේ පුළුල් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වුණා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නීතිය, සාමය හා බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය තිලක් මාරපන, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් අවස්ථා කිහිපයකදී ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන අදහස් පළ කළා.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සෙනසුරාදා කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළේ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පමණක් නොව, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ නීතිය, සාමය හා බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය තිලක් මාරපන ද ඇවන්ට්ගාඩ් සමාගම ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවයි. අමාත්‍ය තිලක් මාරපනට එරෙහිව ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සාකච්ඡා  කරමින් සිටින බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා. 

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබදව ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා ද පසුගිය දා අදහස් පළ කළා. එහිදී ඔහු අධිකරණ අමාත්‍යවරයාට චෝදනා කළේ මීට අදාළ පරීක්ෂණ යටපත් කිරීම සඳහා ඇවන්ගාඩ්  සමාගමෙන් ඇමතිවරයා අල්ලස් ලබාගෙන ඇති බවටයි.  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය සිකුරාදා මාධ්‍ය හමුවක් කැදවමින් ඔහුගේ ප්‍රකාශයට රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සෙනසුරාදා පැවැති රැස්වීමකදී ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මිලියන 5000ක වන්දියක් ඉල්ලා නඩු පවරන බවයි.

Post a Comment

 
Copyright © 2014 MAHINDA NEWS

Powered by JoJoThemes